visitors

Thursday, February 23, 2017

වීඩියෝ ක්‍රීඩා ලොවට හඳුන්වාදුන් නවතම අධි තාක්ෂණික ප්‍රොජෙක්ටරය.

වීඩියෝ ක්‍රීඩා ලොවට හඳුන්වාදුන් නවතම අධි තාක්ෂණික ප්‍රොජෙක්ටරය. 



තාක්ෂණයේ දියුණුවත් සමඟ  වීඩියෝ ක්‍රීඩා ලෝලියෙකුට තමන්ගේ වීඩියෝ ක්‍රීඩා අත්දැකීම ලබාගැනීමට පරිගණකය හෝ රූපවාහිනිය හා සම්බන්ධ වූ ගේමින් කොන්සෝලයක් ප්‍රමාණවත් නොවන තැනට වර්තමානයේ වීඩියෝ ක්‍රීඩාවන් පැමිණ තිබෙනවා. ලෝප්‍රකට Razerසමාගම විසින් සිය ක්‍රෝමා විද්‍යුත් ආලෝක පද්ධතීන් හෙඩ්ෆෝන් උපාංග, යතුරු පුවරු, මවුස් පෑඩ්, ලැප්ටොප් වැනි හැකි සෑම උපාංගයකටම ආදේශ කරනා බව ප්‍රකට කරුණකි. කෙසේ වෙතත් Razer සමාගම Project Arianaසමගින් ඔවුන් සූදානම් වන්නේ වීඩියෝ ක්‍රීඩා ලෝලියෙකු හට තමන්ගේ සමස්ත කාමරයම වීඩියෝ ක්‍රීඩා දර්ශන තලයක් බවට පත් කළ හැකි ප්‍රොජෙක්ටරයක් හඳුන්වාදීමයි.



මෙම ප්‍රොජෙක්ටරය මගින් සිදු කරන්නේ ඔබ සාමාන්‍යයෙන් වීඩියෝ ක්‍රීඩාවන් සඳහා යොදාගන්නා පරිගණකයේ තිරය හෝ රූපවාහිනීයේ තිරය එතැනින් ඉවත් කර ඒ සඳහා ආදේශකයක් වීම නොවේ. සැබවින්ම එහි ක්‍රියාකාරීත්වය ඊටත් වඩා ආකර්ෂණීය වේ. මෙහිදී ඔබට සුපුරුදු පරිදි පරිගණක හෝ රූපවාහිනී තිරයක් අවශ්‍ය වේ. දැන් ඊට සම්බන්ධව ඇති රේසර් ක්‍රෝම් Project Ariana ප්‍රොජෙක්ටරය මගින් ඔබ ඉදිරිපිට තිරයේ දිස්වන දර්ශන පථය ඔබගේ සමස්ත කාමරය පුරාවටම විහිදුවාලයි. ඔබේ කාමරයේ බිත්ති, බිම, සීලිම දක්වා මෙම දර්ශන පථය පුළුල් වූවත්, ඔබේ කාමරයේ ඇති ගෘහභාණ්ඩ මත එම දසුන් නොවැටෙන අතර, ඒ වෙනුවට ඔබේ ඇසට වඩාත් පහසු ලෙසින් කාමරය තුළ ඇති ගෘහභාණ්ඩ පි‍ටුපසින් මෙම දසුන් ප්‍රක්ෂේපණය කරනා බවක් හැඟවීමට මෙම ප්‍රොජෙක්ටරය සමත් වනු ඇත. මේ සියල්ලත් සමගින් ඔබට වීඩියෝ ක්‍රීඩාව තුළ හිඳිමින් ක්‍රීඩා කරනා ආකාරයක් පෙනෙනා බව අමුතුවෙන් කිවයුතු නොවේ.

මෙම Project Ariana ප්‍රොජෙක්ටරය භාවිතයෙන් ultra-wide fish-eye lensපද්ධතියක් භාවිතා කරමින් ඔබේ කාමරයේ බිත්ති, පොළව සහ සීලිම හරහා විහිද යන ලෙසින් පුළුල් කෝණ රූපයන් ප්‍රක්ෂේපණය කිරීමට සමත්වේ. එසේම මෙහි ස්ථාපනය කොට ඇති ත්‍රිමාණ ගැඹුර කැමරා (3D depth-sensing cameras) ද්විත්වයක් මගින් කාමරය පුරා ඇති ගෘහභාණ්ඩ, රූපවාහිනී, බිත්තියට සවිකළ රාක්ක වැනි විවිධ බාධකයන් හඳුනාගැනීමට හැකියාව ප්‍රොජෙක්ටරයට ලබාදෙනු ඇත. එම දත්ත අනුසාරයෙන් එම බාධකයන් වටා ආලෝකය ගමන් කරවමින්, ප්‍රක්ෂේපණය පැමිණෙන්නේ එම බාධකයන්ට පි‍ටුපසින්ය යන හැඟීම ලබාදීමට Project Ariana ප්‍රොජෙක්ටරය සමත්වනු ඇත. නිෂ්පාදකයින් පවසන අන්දමට මෙම තාක්ෂණය නිර්මාණය කොට ඇත්තේ මිනිස් ඇසක් මගින් ලෝකය ග්‍රහණය කරගන්නා අන්දම අනුකරණය කරමිනි.  වීඩියෝ ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු වන්නාවූ සැබෑවට අතිශයින්ම ආසන්න, තීව්‍ර හැඟීම් ජනිත කරනා දර්ශනතලයක් නිර්මාණය කිරීමට මෙය සමත්වනු ඇත.

එසේම ඔබට මෙම ප්‍රොජෙක්ටරය අධි තාක්ෂණික වීඩියෝ ක්‍රීඩා උපාංගයක් ලෙස භාවිතා නොකරන විටදී, සාමාන්‍ය ප්‍රොජෙක්ටරයක් ලෙසින් භාවිතා කරමින් චිත්‍රපට නැතිනම් වෙනත් වීඩියෝ අන්තර්ගතයන් නැරඹීමටද හැකියාව තිබේ. කෙසේ නමුත් එසේ පැවසීමද මෙම ප්‍රොජෙක්ටරය අවතක්සේරු කිරීමක් ලෙසින් හැඟී යා හැක. මන්දයත්, මෙය චිත්‍රපට හෝ වෙනත් වීඩියෝ නැරඹීම සඳහා ප්‍රොජෙක්ටරයක් ලෙසින් භාවිතා කිරීමේදී 4K ගුණාත්මක භාවයේ අන්තර්ගතයන් ලබාදෙන අතරම, මෙහි ඇති කැමරා ද්විතවය අනුසාරයෙන් ඔබට ලැබෙනා දර්ශනය විවිධ සාධක පාදක කරගනිමින් ඉහළම ගුණාත්මක තත්වයේ සිනමා අත්දැකීමක් සඳහා සුසර කරගැනීමට හැකියාව ඇත. මෙය මිල තවමත් ප්‍රකාශයට පත්කොට හෝ වෙළෙඳපොළට නිකුත් වී නැති වුවත්, මෙම වසර අවසාන වනවිට වීඩියෝ ක්‍රීඩා ලෝලීන්ට මිලදී ගැනීමට ලැබෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ඡායාරූප කිහිපයක්.





උපුටා ගැනීම අන්තරජාලයෙනි

No comments:

Post a Comment